ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයට එරෙහි සටන අදම අරඹමු

To fight coronavirus, Sri Lanka must act now

Image via South China Morning Post

You can read this article in English, සිංහල, or தமிழ்.

ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණියේ ටිකෙන් ටික ය. පසුව එය එක් වර ම කඩා වැදිණ. භූමිකම්පාව සහ එහි ප්‍රතිඵලය අතර පැය ගණනාවක් අපට තිබිණ. උදම් රළ ලංකාව පුරා පැතිර යෑමට මත්තෙන් පවා අපට කාලය ඉතිරිව තිබිණ. ඒත් අපි කිසිවක් දැන නොසිටියෙමු. අපෙන් 30,000ක් දෙනා මරණය වැළඳගත්හ.

දැන් අපි දනිමු. අනතුරු ඇඟවීමක් ලද සැණින් අපි ිව යා යුත්තෙමු. මුහුදු වෙරළින් ඈත් වී, ව්‍යසනයට මුහුණ දීමට සූදානම් ව, එකිනෙකාගේ ආරක්ෂාව සලසා ගත යුත්තෙමු. ඉතින්, මේ අනතුරු ඇඟවීමකි. ඒ මොහොත පැමිණ ඇත. මේ මොහොතේ ලොව පුරා පැතිර යමින් ඇති කොරෝනා වෛරසය නමැති උදම් රළ, මෙහි ද පැමිණෙමින් තිබේ. අපට ක්‍රියාත්මක වීමට තවමත් කාලය ඉතිරි ය. එහෙත් අප ප්‍රබල ලෙස සහ මේ දැන් ම, ක්‍රියාත්මක විය යුතු ය.

රෝගීන් 8යි… නෑ 10යි

මා මෙය ලියන මොහොතේ දිවයිනේ රෝගීන් අටකි. ඔවුහු පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වීමෙන් රෝගී වූ අය ය. සමාවෙන්න, මා මෙය ලියන අතරමඟ ඒ ගණන දහයක් දක්වා ඉහළ ගොස් ඇත. සිදු වෙමින් පවතින දේ ඔබට පෙනෙන බව නිසැක ය.

මේ ගුණාකාරයෙන් මෙය පැතිර ගියහොත්, රෝගීන් බිලියන 2ක් හඳුනාගැනීමට වැඩි කල් ගත වීමට නොයනු ඇත. ගුණාකාර ගණිමින් සිටීම පසෙක තබා, අප මෙය වටහා ගත යුතු ය. මෙය කිලෝමීටර දහස් ගණනකට එහා සිට එන සුනාමියක් වැනි ය. බොහෝ වෙලාවක් ගත වන තෙක් එය සාගරයේ තවත් එක් රැල්ලක් පමණි. එහෙත් ඉන් අනතුරුව එය මීටර 10ක උසින් පැමිණෙනු ඇත. මෙහි කුමක් හෝ වරදක් ඇති බව ඔබට වැටහෙන විට, ඔබ බොහෝ සේ පමා වී සිටිනු ඇත.

සුනාමිය මුලින් ම පහර දුන්නේ ඉන්දුනීසියාවට ය. අප ඒ බවක් දැන සිටියේ නැත. අද බොහෝ රටවල් පහර කා සිටී. අපි එය දනිමු.

අපි මදකට ඉතාලිය දෙසට යොමු වෙමු.

මුල් සතිය තුළ ලංකාවේ මෙන් ම ඉතාලියේ ද සිටියේ රෝගීන් දෙදෙනෙකු පමණි. තවත් සති දෙකක් යන තෙක් සිටියේ ද රෝගීන් තිදෙනෙකි. ප්‍රශ්නයක් නැත. සිව් වන සතියේ දී හදිසියේ ම එය නවය දක්වා ඉහළ ගියේ ය. පාලනය කර ගත හැකි ගණනකි. එහෙත් පසුදා රෝගීන් ගණන 76ක් බවට පත් විය. සියල්ල අවසාන ය.

ඉන්පසු සති දෙකක් තුළ ඉතාලියේ රෝගීන් ගණන 12,500ක් දක්වා ඉහළ ගොස්, මරණ 200ක් වාර්තා විය. රෝහල්වල නිරෝධායනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයත් සමග එරට යුද්ධයක් ඇවිළී ගියේ ය.

තවත් එක් කුඩා දිය රැල්ලක්ව තිබූ කොරෝනා වෛරසය, දැවැන්ත උදම් රළක් බවට පෙරළිණි. විශිෂ්ට සෞඛ්‍ය පද්ධතියකින් සමන්විත ඉතාලිය මෙතැනදී අසමත් විය. අපට සිදු වනු ඇත්තේ කුමක්ද?

මිනිසුන් ලක්ෂයකට දැඩි සත්කාර ඒකක ඇඳන් 12.5ක් ඉතාලිය සතුව ඇත. අපට ඇත්තේ 2.3කි. ශ්‍රී ලංකාව යනු උතුරු ඉතාලිය නොවේ. අපේ වාට්ටුවල ඇඳන් ඇත්තේ මිනිසුන් දෙදෙනෙකුට එක් ඇඳක් බැගිනි. දැඩි සත්කාර ඒකක 100%ක් පිරී ගොසිනි. මේ උදම් රළට එරෙහිව සටන් නොකළහොත්, එය අපේ රෝහල්වලට පහර දෙන විට අප දියේ ගිලී යනු ඇත.

රෝගීන් ගණන උග්‍ර මට්ටමට ළඟා වන බව දිස් වීමට පවා පෙර, වේගයෙන් සහ හැකි ඉක්මනින් තීරණාත්මකව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ඉතාලියේ අත්දැකීම විසින් තහවුරු කෙරේ. රෝගීන් ගණන අවදානම් මට්ටමට ළඟා වන බව දිස් වන මොහොත, සීමාවන් ඉක්මවා යෑම වැලැක්වීමට පමා වැඩි මොහොතකි (නිව්යෝක් ටයිම්ස්).

අප දැන් ම ක්‍රියාත්මක විය යුතු ය

කල් තියා ක්‍රියාත්මක වීමේ වාසි රාශියකි.

“මගේ අවධානය පැහැරගත්තේ, එක් දිනක පමාවකින් පමණක් අවශ්‍ය සමාජ ආරක්ෂණ පියවර අරඹා තිබියදිත් දෛනිකව අලුත් වූ Covid-19 රෝගීන් ගණන පෙන්වන වගුවයි.” වෛද්‍ය බ්‍රිටා ජුවෙල් පැවසුවා ය. “ඒ අනුව රෝගීන් ගණන සියයට හතළිහකින් අඩු වනු දැකීමට ගත වන්නේ එක් දිනක් පමණයි. එය විශාල ගණනක්. මේ තත්ත්වයේ හදිසි භාවය පෙන්වීමට එය ප්‍රමාණවත්” (නිව්යෝක් ටයිම්ස්).

මේ මොහොතේ තවත් කියන්නට බොහෝ දේ තිබේ. එහෙත් සිදුවීම් විසින් ඒ බව ඔබට මේ වන විට ඇස් පනාපිට පෙන්වා ඇති බව නොඅනුමාන ය. මේ මොහොතේ ඔබේ හදවතට මේ භීතිය හැර වෙන කුමක් දැනෙන්නේ දැයි මා දන්නේ නැත. මේ අනවශ්‍ය කලබල වීමක් නොවේ. මේ ඔබේ සිරුර විසින් ඔබට ක්‍රියාත්මක වන මෙන් ඉල්ලා සිටීමකි. ඒ අනුව ඔබ මොළය පාවිච්චි කර, කළ යුත්තේ කුමක්දැයි වටහා ගත යුතු ය. ඒ බව අපට දන්වා සිටීම සඳහා මිනිස්සු දහස් ගණනක් වේදනා විඳ මරණය වැළඳගත්හ. අපට සවන් දිය හැකි ය, ඉගෙන ගත හැකි ය.

කළ යුත්තේ කුමක්ද?

පළමුව, කවුරුන් ද? කවුරුන් කුමක් කළ යුතු ද? ශ්‍රී ලංකාවට අනුව මුලින් ම ජනාධිපතිවරයා ය. පසුව මහජන සෞඛ්‍ය අධිකාරීන් සහ ඉන් අනතුරුව හමුදාවන් ය. අපට ඇත්තේ මවිසින් ඡන්දය නුදුන් රජයකි. එහෙත් ඔවුන් විද්‍යාඥයන්ට ඇහුම්කන් දෙමින් සිටීම කෙරෙහි කෘතඥ පූර්වක විය යුතු ය. ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධව කිසියම් නිපුණත්වයක් දක්වන අතර, ඔහු නිවැරදි පුද්ගලයින්ට සවන් දෙමින් සිටින බව මම විශ්වාස කරමි. මේ මොහොතේ ඔවුනට 100%ක් සහය පළ කළ යුතු අතර, ඇහුම්කන් දිය යුතු ය. රජය මහජන සෞඛ්‍ය නිලධාරීන්ට සහය දැක්විය යුතු මෙන් ම, ඔවුන් වෙත ඇති බාධක ඉවත් කළ යුතු ය.

අප වැනි රටවල් කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයට සවන් දීම සහ මේ උවදුර සාර්ථකව කළමනාකරණය කළ චීනය, දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවලින් ඉගෙනගැනීම ය. හැකියාවක් ඇත්නම්, අප ඔවුන්ගෙන් විශේෂඥයන් සහ සම්පත් ලබාගත යුතු ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් පවසන්නේ මෙබන්දකි.

“පරීක්ෂණ පමණක් නෙමෙයි, රෝගීන් හා සබඳතා පැවැත්වූවන් හඳුනාගැනීම පමණක් නෙමෙයි, නිරෝධායනය පමණක් නෙමෙයි, සමාජ ආරක්ෂණය පමණක් නෙමෙයි, මේ සියල්ල ම එක විට කළ යුතුයි.” (WHO)

චීනය සහ අන් රටවල් සිදු කළ දේ සැබෑ ලෙස ම දැවැන්ත ය. සම්පූර්ණ වාර්තාවක් සඳහා මේ වීඩියෝව නැරඹීමට නිර්දේශ කරමි. චීනය උෂ්ණත්ව ස්කෑනර් යන්ත්‍ර හැම තැනක ම ස්ථානගත කළේ ය. උණක් තිබූ ඕනෑ ම අයෙකු උණ රෝහලකට ගෙන ගොස් පරීක්ෂණ පවත්වනු ලැබිණ. උණ ඇති බව තහවුරු වුවහොත් ඔවුන් සිය පවුල්වලින් ඈත් කර නිරෝධායනය කෙරිණ.

සෑම රෝගියෙකු ම සොයමින්, පරීක්ෂණ කරමින්, නිරෝධායනය කරමින් සහ රෝගීන් හා සබඳතා පැවැත්වූවන් හඳුනාගනිමින්, ශ්‍රී ලංකාව දැන් සිටින්නේ දරාගත හැකි අවධියේ ය. මෙය අත්‍යවශ්‍ය බව සලකා සියලු ආකාරයේ සහය ලැබෙන තෙක් මේ ක්‍රියාවලිය දිගට ම කරගෙන යා හැකි ය. එනම්, බාධක වළකා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ වෘත්තිය පහසු කළ යුතු ය. උදම් රළ පැමිණෙන විට අප හැකි තාක් ගොඩබිම දෙසට වී සිටිය යුතු ය. එනම්, අප නිවසට වී සිටිය යුතු ය.

වෙරළින් ඉවත් වන්න

සියලු දෙනා ආවරණය කළ හැකි වූ පසු චීනය කළේ ප්‍රදේශ සම්පූර්ණයෙන් ම වසා දැමීම සහ බිලියනයක් පමණ ජනතාවගේ ගමනාගමන නිදහස සීමා කිරීම ය. ඔවුන් සතුව ශල්‍ය පාලන ක්‍රම ඇත. අපට ඒ සඳහා තාක්ෂණ පහසුකම් ඇතැයි මම නොසිතමි. අප, අපට හැකි දේ කළ යුතු ය.

සීමිත සම්පත් සහිතව අපට කළ හැකි සරල ම දේ වනුයේ හැකි තාක් සමාජයෙන් ඈත් වීමයි. මහා ක්‍රිකට් තරග අවලංගු කිරීම, අලුත් අවුරුදු ගමන්බිමන් සීමා කිරීම, මංගලෝත්සව, සම්මන්ත්‍රණ, උත්සව අවස්ථා ආදී දේ අවලංගු කිරීම අත්‍යවශ්‍ය ය. මාපියන්ගේ බලවත් කලබලකාරීත්වය නිසා අප දැනටමත් පාසල් වසා දැමුව ද, මේ මොහොතේ අප සියල්ලන් සියලු දෙනාට ම මාපියන් විය යුතු ය. සියලු දේ අවලංගු කළ යුතු ය.

අප මෙය සිදු කරන්නේ මහජන සෞඛ්‍ය නිලධාරීන්ට සටන් කිරීමට අවස්ථාව සලසා දීමට ය. මේ දරාගත හැකි අවධියේදී අප කරන සෑම ක්‍රියාවකින් ම ඔවුන්ට වැඩි වැඩ කොටසක් පැවරෙන්නේ ය. අපට කොරෝනා වෛරසය නැවැත්විය නොහැකි ය. එහෙත් අපට එය මන්දගාමී කළ හැකි ය. ඉහළ යෑම පාලනය කළ හැකි ය.

අප එකිනෙකා සමග ගැවසීම අඩු කරන තරමට, මහජන සෞඛ්‍ය නිලධාරීන්ට කිරීමට සිදු වන, රෝගීන් හා සබඳතා පැවැත්වූවන් හඳුනාගැනීමේ කර්තව්‍යය අඩු කරගත හැකි ය. මෙය සදාකාලිකව කළ හැක්කක් හෝ පරිසමාප්තව කළ හැක්කක් නොවේ. වඩාත් ඉහළ තාක්ෂණයක් අප සතු වූයේ නම්, තායිවානය හෝ හොංකොං මෙන් අපටත් ශල්‍යමය වශයෙන් තවත් යමක් කිරීමේ ශක්‍යතාව ලැබෙනු ඇත. එහෙත් අපට එවැන්නක් ඇතැයි මම නොසිතමි. උදම් රළ පැමිණෙමින් ඇති අතර, අපි කාලය ලබාගත යුත්තෙමු.

ජාත්‍යන්තර සංචාරක තහංචි ද මීට අයත් ය. ඒ හා බැඳුණු සියලු ක්ෂේත්‍රවලට බලපානු ඇති වුවත්, සංචාරක කර්මාන්තය වසා දැමීම අත්‍යවශ්‍ය ය. මසකින් පමණ මීට විරුද්ධ ප්‍රතිඵලයක් දක්නට ලැබෙනු ඇති වුවත්, අප කරන්නේ කාලය ලබා ගැනීමයි. අපට සූදානම් වීම පිණිස එම කාලය අත්‍යවශ්‍ය වේ.

සුවය ලැබීමට සූදානම් වීම

අපට කොරෝනා වෛරසය සදහට ම තබා ගත නොහැකි ය. එය මේ මොහොතේ සිදු වෙමින් පවතියි. අපට කළ හැක්කේ අපගේ සෞඛ්‍ය පද්ධතිය හැකි උපරිමයෙන් සූදානම් කර තැබීම ය. මින් අදහස් වන්නේ අපගේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අවශ්‍ය ආරක්ෂක උපකරණ, පරීක්ෂණ කට්ටල ආදිය ය. මෙය චීනයට වඩා හොඳින් කිසිවෙකුට කළ නොහැකි අතර අපට ඔවුන්ගේ උදව් අවැසි බව මම අවංකව සිතමි. ඔවුන් දැනටමත් බෙහෙවින් උපකාර සපයා ඇති නමුත් අපට තවත් දේ අවශ්‍ය විය හැකි ය. චීන තානාපතිවරයාගේ නිවසේ කිසිවෙකු ලැගුම් ගැන්විය යුතු ය.

වේගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන (දැනටත් කර තිබෙන පරිදි) සහ ක්ෂේත්‍ර රෝහල් පිහිටුවීම මෙන් ම හැකි තාක් පිරිස් කාර්ය මණ්ඩල වශයෙන් පුහුණු කිරීම අවශ්‍ය ය. දැඩි සත්කාර ඒකක ඇඳන්, ශ්වසන ආධාරක, ශ්වසන යන්ත්‍ර ප්‍රමාණවත් තරමට අප සතුව නැත. මේවා අපට අවශ්‍ය වේ. මේ යුද්ධයේ දී අපට උණ්ඩ විශාල ප්‍රමාණයක් ඕනෑ වීමට නියමිත ය. වාසනාවකට අපට සිටින්නේ, දේවල් මිලිටරිකරණය කිරීමේ නැඹුරුවක් සහිත, යුද කාලීන ජනාධිපතිවරයෙකි. එකී නැඹුරුව මේ මොහොතේ ප්‍රයෝජනවත් ය.

සුවය ලැබීම

මේ කටයුත්ත පහසුවෙන් කළ හැක්කක් නොවනු ඇත. මන්දයත්, අප කතා කරමින් සිටින්නේ ආර්ථිකය වසා දැමීම පිළිබඳව ය. එය ද මිනිසුන් මරණයට පත් කරයි. ඔවුන්ට කුසගින්නේ සිටීමට සිදු වනු අනිවාර්ය ය. අපගේ සංචාරක කර්මාන්තය කඩා වැටී ඇත. දකුණු පළාතේ වැසියන් සිය අතථ්‍ය ගෙවීම් කරමින් සිටියේ ද යන්තමිනි. මේ වන විට සියල්ල සමාප්ත ය.

දෛනික වැටුප් ලබන්නන්ට සමාජයෙන් ඈත් වීමට සිදු වූ විට කුමක් සිදු වේ ද? දරිද්‍රතාවෙන් පෙළෙන්නන්, අවවරප්‍රසාදිතයන්, මැද පාන්තිකයන්.. දිගින් දිගට ම සමස්ත ආර්ථිකය ම වසා දැමීමට සිදු වීමෙන් මේ සියලු දෙනා පහර කනු ඇත.

එක්සත් රාජධානිය තවදුරටත් මෙය සිදු නොකරයි. ඔවුහු සරලව ම වෛරසය පැතිරෙන්නට ඉඩ හරින අතර ආර්ථික කටයුතු අඩපණ නොකරමින් සිටිති. ඔවුන් පරීක්ෂණ කටයුතු නවතා දමා සියල්ල අතහැර දමා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ අන් කිසිවෙකු මෙබන්දක් නිර්දේශ නොකරයි. මෙය සිදු කළ යුතු දෙයක් යැයි මම ද නොසිතමි. ජීවිත මිලියන ගණනක් රැක ගැනීමට සමත් වූ චීනය දැන් නැවත නැගිටිමින් සිටියි. ගත යුතු එක ම මඟ මෙය බව මම සිතමි. රජය එමඟ ගනු ඇති බව මම අපේක්ෂා කරමි. ඔවුන් එය අනුගමනය කරමින් සිටින බව මම සිතමි.

කිසියම් මොහොතකදී සංචාරක තහංචි ඉවත් කළ යුතු වේ. අප කුමක් කළත් උදම් රළ පැමිණෙනු ඇත. අප දියේ ගිලී සිටිනු ඇත. ඒ මොහොතේදී අප අපගේ සීමා විවෘත කළ යුතු වේ.

කිසියම් මොහොතකදී වෛරසය මෙහි පැමිණෙනු ඇති අතර එවිට සියල්ල ම ඵල රහිත වනු ඇත. තත්ත්වය පාලනය කිරීම යනු රෝගීන් ගණන පහළ යෑම නොව, ඔබගේ සෞඛ්‍ය පද්ධතිය කඩා නොවැටෙන පරිදි රෝගය පැතිරීම වැලැක්වීමයි. මේ මොහොත කවදා පැමිණේ ද යන්න හෝ ඉන්පසු සිදු වන්නේ කුමක්ද යන්න මම නොදනිමි. සමාජයෙන් ඈත් ව සිටීමේ ක්‍රියාමාර්ගය ලිහිල් වූ විට නැවත වෛරසය පැමිණේ දැයි මම නොදනිමි. චීනය සහ දකුණු කොරියාව වැනි සැබෑ ලෙස ම සංවර්ධනය වූ රටවල් දෙස අප බලා සිටිය යුතු වන අතර, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි නව තුන්වන ලෝකය කරමින් සිටින දේ මඟ හැරිය යුතු ය.

ඉන්පසුව කුමක්ද?

අපට බලා සිටිය හැක්කේ බෙහෙවින් දියුණු රටවල් කරමින් සිටින දේ දෙස පමණකි. එහෙත් ඔවුන් ද තවමත් යථා තත්ත්වයට පැමිණ නැත. යථා තත්ත්වය යනු මීට පෙර තිබූ තත්ත්වය යැයි මම නොසිතමි. අප ජීවත් වන ආකාරය දෙස බරපතල ලෙස නැවත සිතිය යුතු ය. විශේෂඥයන් විසින් අනතුරු අඟවනු ලබන දීර්ඝ කාලීන තර්ජන නොතකා හැරීම අප නැවැත්විය යුතු ය. අප වඩාත් පරීක්ෂාකාරීව, සූදානම් ශරීරයෙන්, එකිනෙකා කෙරෙහි සැලකිල්ලෙන් සිටිය යුතු වන්නේ, අප සියලු දෙනා ම නිතැතින් ම එකට බැඳී සිටින හෙයිනි.

මීළඟට, මා බියෙන් සිටින්නේ අප සියලු දෙනාට ම ශෝක වීමට සිදු වනු ඇත කියා ය. අපට උදම් රළට එරෙහිව සටන් කළ හැකි ය. අපට ඈත් විය හැකි ය, සූදානම් විය හැකි ය, සුව විය හැකි ය. එහෙත් අපට එය මඟ හැර යා නොහැකි ය. අපෙන් කිහිප දෙනෙකු හෝ අප හැර යනු ඇත. මම කනගාටු වෙමි. මම මා ගැන ද ඔබ ගැන ද කනගාටු වෙමි. අප සෑම පරම්පරාවක් ම මෙබන්දක් අත්විඳ ඇති නමුත් එය කිසිදා යහපත් අතට හැරුණේ නැත. එහෙත් කරුණාකර දැන් සවන් දෙන්න. අප දැන් ගන්නා සෑම පියවරක් ම හෙට දස ගුණයකින්, තවත් සතියකින් සිය ගුණයකින් වටිනු ඇත. අද විඳ දරා ගන්නා සෑම අපහසුතාවක් ම, අනතුරු ඇඟවීමක් ම සිය ගණනක, දහස් ගණනක ජීවිත ආරක්ෂා කර දෙනු ඇත. එහෙයින් ලාංකිකයිනි, කරුණාකර ක්‍රියාත්මක වන්න.

You can read this article in English, සිංහල, or தமிழ்.

Written by

A writer living in Colombo, Sri Lanka. He/him. indi@indi.ca. Videos: tiny.cc/indication. Patreon: patreon.com/indication

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store